ඉන්දියාව සමඟ තරඟ පරාජයට අමුතුම හේතුවක් මතු වෙයි…

0
175

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම හමුවේ දරුණු පරාජයක් ලැබීමට හේතුව ලෙස ඉන්දීය කණ්ඩායම සමඟ පැමිණි පුසාරියෙකුගේ ක්‍රියාකාරිත්වයක් හේතුවී ඇති බවට යම් මතයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර පැතිර ඇති බවට  ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන srilankamirror.com පුවතක් පල කරමින් සඳහන් කරන අතර එම පුවත මෙසේය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඉන්දියාව සමඟ පැවැති ටෙස්ට්, එක්දින හා පන්දුවාර විස්සයි – 20 තරග පරාජය කිරීමට ඉන්දියන් පිල සමඟ පැමැණි පූසාරියකු හේතුවූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන් අතරේ මතයක් ගොඩ නැගී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඉන්දීය පිලේ ක්‍රීඩක සහයකයකු ලෙස පැමිණ ඇති අදාළ තැනැත්තා තරගයක් පැවැත්වෙන විට පිටියවටේ යමින් යමක් මතුර මතුරා වැලි විසිකරමින් කටයුතු කර ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් තේරීම් කමිටු ප්‍රධානීන් ක්‍රිකට් ප්‍රධානීන් දැනුවත් කර ඇති බවද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් ඔහුව ලාකිකයන්ට හඳුන්වාදී ඇත්තේ ඔවුන්ගේ බැගේජ් බෝයි (බඩු කරගහගෙන යන කොල්ලා) හෝ ත්‍රො බෝයි (පන්දු විසිකරන කොල්ලා) යනුවෙන් බවද පැවසේ.

මොහු නිතරම සිය නළලේ රතු මොට්ටුවක් තබාගෙන සිටින බවද පැවසේ.

කෙසේවුවද, ගාල්ලේ පැවැති තරගයක් අතර ලාංකික ප්‍රේක්ෂකයකු ප්‍රේක්ෂකාගාරයේ සිට අදාළ තැනැත්තා වැලි විසිකරන විට ඔහුගේ ඔළුවට වැලි අහුරක් විසිකර ඇති අතර වැලි වැඳුන සැනින් ඔහු උමතුවෙන් මෙන් ප්‍රේක්ෂකාගාරය වෙත දිව ගිය බවද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන් පවසන්නේ ශ්‍රී ලංකා පිලේ තරග පරාජය පූසාරියෙකු මත පැටවිය නොහැකි බවත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දුර්වල තරග විලාශය අදාළ පරාජයන්ට හේතුවූ බවයි.

මේ අතර, ඉදිරි පාකිස්තානු සංචාරයේද ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණ අපේක්ෂා කළ නොහැකි බව අදාළ ක්‍රිකට් ප්‍රවීනයන්ගේ මතය වේ.” (srilankamirror.com)

පුසාරියෙකු වැලි ගැසීම කෙසේ වෙතත් දැන් කලක සිට ප්‍රේක්ෂකයන්ගේ ඇස්වලට ක්‍රිකට් බලධාරීන් නම් වැලි ගසන පැහැදිලි වන්නේ මෙතරම් තරඟ පරාජයට පත්වී ඇති අවස්තාවකද පරාජයන්ට වගකිව යුත්තන් පරදින ක්‍රමය වෙනස් කිරීමට කිසිඳු දැනෙන ක්‍රියා මාර්ගයක් නොගන්නා බැවිනි,

(srilankamirror.com)