අපේ මීළඟ පුහුණුකරු විය යුත්තේ මේ අයගෙන් කවුද….?

0
171

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ පුහුණුකාර ධුරය සඳහා මේ වන විට තාවකාලික පුහුණු කරුවකු ලෙස සිටින නික් පොතාස්ගේ ධුර කාලය තරඟාවලියෙන් තරඟාවලියට දිගු කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දිගු කාලීන සැලසුමක් සකස් කර ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැත.ශ්‍රී ලංකා පුහුණුකාර ධුරය සඳහා වඩාත් සුදුසු වන්නේ කවුරුන්ද යන්න විමසා බැලීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෙබ් අඩවියක් වන  ThePapare.com විසින් සකස් කල විශේෂ වාර්තාවක උපුටා ගැනීමක් මෙලෙසය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර පසුගිය කාලය පුරාවටම එතරම් ස්ථීර රැකියාවක් වූයේ නැත. පසුගිය වසර 7 – 8ක කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන පුහුණුකරුවන් 9 දෙනෙකු යොදා ගැනීම ඊට හේතුවයි.

 මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් පහළ මට්ටමකට පැමිණීම කෙරෙහි නිශේධනීය ලෙස බලපෑ කරුණක් ලෙස මේ පුහුණුකරුවන් මාරුව ද නිසැකවම දැක්විය හැකිය. එබැවින් වර්තමානයේ ”වැඩ බලන” මට්ටමෙන් ක්‍රියාත්මක වන මෙම තනතුර සඳහා යොදා ගැනීමේ විභවයක් ඇති පුහුණුකරුවන් ලැයිස්තුවක් සැකසීමට ThePapare.com ගත් උත්සාහයක් මේ.

නික් පෝතස්

වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බලන ප්‍රධාන පුහුණුකරු වන්නේ නික් පෝතස් ය. 2017 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවීමත් සමඟ එවක ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රැහැම් ෆෝඩ් ඉල්ලා අස්වීම හේතුවෙන් වැඩ බලන පුහුණුකරු ලෙස ඔහු පත් කෙරුණි.

එතෙක් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ පෝතස් ප්‍රධාන පුහුණුකරු තනතුරේ වැඩ බැලීම ආරම්භ කිරීමෙන් පසු ශ්‍රී ලංකාව සිම්බාබ්වේ සමඟ පැවති එක්දින තරගාවලිය තරග 3-2 ක් ලෙස පරාජය විය.

සිම්බාබ්වේ සමඟ ටෙස්ට් තරගය විශාල සටනකින් පසුව ජය ගන්නට සමත් වුවත් පසුගිය දා අවසන් වූ ඉන්දීය කණ්ඩායමේ මෙරට තරග සංචාරය තුල දී ශ්‍රී ලංකාවට තරග 9ම පරාජය වීමට සිදු විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසන්නේ වෘත්තියෙන් පන්දු රැකීමේ පුහුණුකරුවෙකු වන දකුණු අප්‍රිකානු ජාතික නික් පෝතස් ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා පත්වීමට වඩාත් ඉඩකඩ පවතින පුද්ගලයා බවයි.

මහේල ජයවර්ධන

ශ්‍රී ලංකා ක්‍රිකට් කරළියට දායාද වූ විශිෂ්ට ඝනයේ ක්‍රීඩකයෙකු සහ නායකයෙකු වන මහේල ජයවර්ධන තවමත් ගත කරන්නේ සිය පුහුණුකරු දිවියේ ළමා කාලයයි. කෙසේ වෙතත් අයි. පී. එල්. තරගාවලියේ ඉහළම මූලය බලයක් සතු කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වසරේ දී සිය 3 වන ශූරතාවට හිමිකම් කීවේ මහේල ජයවර්ධනගේ මග පෙන්වීම යටතේයි.

පසුගිය කාලයේ එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරයෙකු ලෙස ද සේවය කර ඇති මහේල, බංගලාදේශ ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ මීළඟ තරග වාර දෙක සඳහා ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගැනීමට ගිවිසුම් ගතව සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේ මුහුණ දී තිබෙන අර්බුදකාරී වාතාවරණය හමුවේ ක්‍රීඩාලෝලීන් පමණක් නොව හිටපු ක්‍රීඩකයන් මෙන්ම ක්‍රිකට් ප්‍රවීණයන් සහ විචාරකයන් පවා මහේල ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගැනීම පිළිබඳ බලාපොරොත්තු සහගත ප්‍රකාශ සිදු කර තිබේ. (කෙසේ වෙතත් මහේල මේ වන විටත් ගිවිසුම් ගතවී තිබෙන රාජකාරි දෙස බැලීමේ දී එවන් තනතුරක් භාර ගැනීමට ඔහු සතුව කාල වෙලාව තිබේ ද යන්න ගැටලුවකි.)

ඩීන් ජෝන්ස්

ඩීන් ජෝන්ස් බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වශයෙනි. කෙසේ වෙතත් 2016 වසරේ පැවති සමාරම්භක පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ ශූරතාව වෙත ඉස්ලාමාබාද් කණ්ඩායම මෙහෙයවූ පුහුණුකරු ලෙස ද ජෝන්ස් තම දක්ෂතා පෙන්වා තිබේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවකු වන ඔහු, සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය පැවති කාලය තුල දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගැනීමට තමන්ගේ ඇති කැමැත්ත පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර ඇති බවට ද වාර්තා වේ. ඩීන් ජෝන්ස් මීට පෙර පාකිස්තානු ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ද දෙවරක් අයැදුම් කර තිබේ.

මාවන් අතපත්තු

විදේශීය පුහුණුකරුවන් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙවීම් සිදු කළේ සුළුවෙන් නම් නොවේ. කෙසේ වෙතත් මෙරට ක්‍රීඩකයන්ට උරුම ශ්‍රී ලාංකේය ගතිපැවතුම් තේරුම් ගැනීමට ඇති නොහැකියාව මෙන්ම භාෂා ප්‍රශ්න හේතුවෙන් ඇතිවන සන්නිවේදන හිඩැස් හේතුවෙන් ඔවුන්ගේ රාජකාරිය නිසි අයුරින් ඉටුවේ ද යන්න පිළිබඳ ඇත්තේ මතභේදාත්මක තත්ත්වයක්.

මෙවන් වාතාවරණයක් තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුර යන මාතෘකාව සමඟ මාවන් අතපත්තු නාමය යළිත් සිහියට නැගෙන තත්ත්වයක් මතුව තිබේ. ඔහු මීට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇති අතර ඉතිහාසයේ පළමු වරට එංගලන්තයේ දී ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම 2014 වසරේ දී සමත් වුණේ ද ඔහුගේ ධූර කාලය තුළදීයි. කෙසේ වෙතත් 2015 වසරේ දී මාවන් සිය තනතුරෙන් ඉල්ලා අස්වුණු අතර ඊට හේතු වූ කරුණු මොනවා දැයි අනාවරණ වූයේ නැත.

පෝල් නික්සන්

එංගලන්ත කණ්ඩායම නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර තරග 19කට සහ එක් පන්දුවාර 20 ජාත්‍යන්තර තරගයකට සහභාගී වී ඇති කඩුලු රකින්නෙකු සහ පිතිකරුවකු වන පෝල් නික්සන් වර්තමානයේ කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජමෙයිකා තලාවාස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි. එමෙන්ම ඔහු 2011 වසරේ දී එංගලන්තයේ ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ.

ටොම් මූඩි

ටොම් මූඩි මීට පෙර වසර දෙකක කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ. 2005 සිට 2007 දක්වා කාලය තුළ ඔහුගේ යටතේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම 2007 ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ද සමත් විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන මූඩි හට ඕස්ට්‍රේලියාවේ මෙන්ම එංගලන්තයේ ද පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් සම්භාරයක් හිමිය.

2012 වසරේ සිට අයි. පී. එල් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර දරන ටොම් මූඩි 2016 වසරේ ශූරතාව කරා එම කණ්ඩායම මෙහෙයවන්නට ද සමත් විය.

පියරේ ඩි බ්‍රයන්

දකුණු අප්‍රිකා ජාතිකයෙකු වන පියරේ ඩි බ්‍රයන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කර නොමැති වුවත් පුහුණුකරුවකු ලෙස අත්දැකීම් රැසක් ලබා තිබේ.

40 හැවිරිදි ඔහුගේ මගපෙන්වීම යටතේ එංගලන්තයේ ලෙයිසෙස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නැට්වෙස්ට් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා ගමන් කිරීමට සමත් වූ අතර ඔහුගේ දක්ෂතා පදනම් කරගෙන ඔහුට ඉහළ දක්ෂතා සහාය පුහුණුකරු තනතුරේ සිට ප්‍රධාන පුහුණුකරු තනතුර දක්වා උසස්වීමක් හිමිවිය.

2016 වසරේ දී ලෙයිසෙස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමඟ එක්වූ පියරේ ඩි බ්‍රයන්, මෑතක දී  එම තනතුරෙන් ඉලා අස් වුණේ වඩාත් ඉහළ අභියෝගයක් භාර ගැනීමට ඇති කැමැත්ත පිළිබඳ අදහස් පළ කරමිනුයි.

ස්ටීවන් ෆ්ලෙමිං

නවසීලන්තයෙන් බිහි වූ දක්ෂ ක්‍රීඩකයෙකු මෙන්ම නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය පවා දරා තිබෙන ස්ටීවන් ෆ්ලෙමිං ටෙස්ට් තරග 111ක දී සහ එක්දින ජාත්‍යන්තර තරග 280ක දී සිය රට වෙනුවෙන් වාර්තා කර ඇති ලකුණු සංඛ්‍යාව 15,000කට අධිකයි.

අයි. පී. එල්. කරළියේ හුරු පුරුදු පුහුණුකරුවකු වන ෆ්ලෙමිං, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම 2010 සහ 2011 වසරවල දී ඉන්දීය ප්‍රිමියර් ලීග් කිරුළ වෙත මෙහෙයවන්නට සමත් වුනා මෙන්ම 2010 ශූරයින්ගේ ලීග් ශූරතාව ද චෙන්නායි කණ්ඩායමට දිනා දීමට සමත් විය. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අහෝසි වෙමත් සමඟ ෆ්ලෙමිං පසුගිය වසර දෙක පුරා පුහුණුකරු තනතුර දැරුවේ රයිසිං පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමේයි.

ඔබ සිතන විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ ප්‍රධාන පුහුණුකරු විය යුත්තේ කවුරුන් ද? ඔබේ අදහස පහතින් දක්වන්න.

…………………………….. ThePapare.com ඇසුරෙනි………….